ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කලේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් ද?

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කොට අදට වසර 15 කි. 2009 ජනවාරි 8 දින ඔහු පදවාගෙන ගිය රථය පසුපස හබාගිය ඝාතකයින් රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේදී ඔහුව මරා දමන ලදි. තවමත් නිසි නඩු විභාගයක් ඔස්සේ යුක්තිය ඉටුවී නැති මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ මරණයට මාස කිහිපයකට පෙර පැහැරගෙන ගොස් වධහිංසාවන්වලට ලක්කළ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැන්මට ලක්කල පිරිසම සම්බන්ධ බව කියවුනි.

කීත් නොයාර් පැහැරගැනීමේ සිදුවීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබුනි.

ලසන්තගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෙතෙක් වාර්තා කර ඇති කරුණු අනුව, ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ පිරිසක් මෙම ඝාතනයට සම්බන්ධ වී තිබේ යැයි වාර්තා කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයට අදාළව මේ වන විට 950 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් 295 දෙනෙකු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් 2018 ජනවාරි 18 වන දා අධිකරණයට වාර්තා කළේය.

2023 සැප්තැම්බර් 5 වැනි දා බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාවේ විකාශනය කල පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ "Sri Lanka Easter Sunday Attack - Dispatches exclusive" නම් වාර්තා වැඩසටහනේ පෙනී සිටි, ජිවිත ආරක්ෂාව පතා දැනට රටින් පලා ගොස් සිටින, සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානා ප්‍රකාශ කලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දිවුරුම් සාක්ෂියක් ලෙස ඔහු කරුණු ඉදිරිපත් කරමින් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභිලාෂය අනුව වූවක් යැයි දැක්වූ බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම හා හමුදා බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අතර හමුවක් 2018 ජනවාරියේ දී එවකට බන්ධනාගාරගතව සිටි පිල්ලෙයාන්ගේ ඉල්ලීම පිට තමා සංවිධානය කළ බවත් දැක්වීය.

අසාද් මවුලානාගේ කරුණු දැක්වීම් පසකින් තැබුවද පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් හෙලිවූ කරුණු ද, යුක්තිය සෙවීමේ උත්සාහ යටින් හාරා බිද දැමීමේ දේශපාලන උත්සාහයන් අතර ද සමීප සමානකමක් ඇති බව පහත කරුණු ඇසුරින්ද පෙනී යනු ඇත:

2009 ජනවාරි 8 - රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ දී ලසන්ත ඝාතනයට ලක්විය.

2010 පෙබරවාරි 26 - වසරකට පසුව, ඝාතනයට පැමිණි කල්ලිය භාවිත කළ බව සැකකෙරෙන ජංගම දුරකථන අංක, නුවරඑලිය ප්‍රදේශය පදිංචි පී ජේසුදාසන් නැමැත්තෙකුගේ හැඳුනුම් පත යොදාගෙන මිලදී ගෙන තිබූ බව පවසමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.

2010 පෙබරවාරි 26 - එදින ම කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ද, පී ජේසුදාසන් හා සම්බන්ධතා පැවැත්වූ බවට සැකකරමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබුණි.

2010 මාර්තු - හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 17 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය මගින් ප්‍රශ්න කිරීමට ලක් කළේය. ඔවුන්ගෙන් 7 දෙනෙකු රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර පසුව මුදා හැරිණ.

2011 ඔක්තෝබර් 13 - අත්අඩංගුවේ පසුවූ සැකකරු පී ජේසුදාසන් හදිසියේ බන්ධනාගාරය තුළ මිය ගියේය. ස්වභාවික මරණයක් ලෙස හැඳින්වූ ඔහුගේ මරණය සැක සහිත බව ජේසුදාසන්ගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.

2013 සැප්තැම්බර් 6 - නිසි සාක්ෂි නොමැති නිසා කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා උසාවිය විසින් නිදහස් කරනු ලැබිණ. එම අත්අඩංගුවට ගැනීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, එය පිළිගත් අධිකරණය, කන්දෙගෙදර පියදාසට රුපියල් 100,000 ක් ගෙවන ලෙස ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියෙකුට නියෝග කළේය.

2014 ජනවාරි 8 - "ජනාධිපතිතුමා (මහින්ද රාජපක්‍ෂ) මට තුන් සැරයක් කිව්වා, ජෙනරාල් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියල," යනුවෙන් ලසන්ත වික්‍රමතුංගගේ පස් වන අනුස්මරණ ගුණ සමරුවේදී ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කළේය. හිටපු හමුදාපතිවරයා චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

2015 ජනවාරි 10 - බලයට පත්වන නව ආණ්ඩුව ලසන්ත ඝාතන පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ටශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේය.

2015 ජනවාරි 21 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුකල ආකාරය මෙන්ම ඊට නියෝග දුන්නේ කවුද යන තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

2015 අගෝස්තු 6 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පරීක්ෂණ නොපවත්වන්නේ ඝාතනයේ සැකකරුවන් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කළේය.

2016 පෙබරවාරි 17 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ හැඩරුව දැක්වෙන කටු රූ සිතුවම් දෙකක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. ඔවුන් හඳුනාගැනීමට මහජන සහය පැතීය

2016 ජුලි 16 - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේය.

2016 ජුලි 27 - අත්අඩංගුවට පත් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා තමන්ට ලසන්ත ඝාතනයෙන් පසු දිනක තර්ජනය කළ පුද්ගලයා බව ලසන්ත වික්‍රමතුන්ගගේ රියදුරා උසාවියේ පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනා ගත්තේය. මෙම හමුදා සාමාජිකයා හිටපු පුවත්පත් කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලබා ඇති බව පොලිසිය උසාවියට දැන්වීය.

2016 සැප්තැම්බර් 27 - නව මරණ පරීක්ෂණයකට ලසන්තගේ දේහය ගොඩ ගැණින.

2016 ඔක්තෝබර් 16 - "ලසන්ත ඝාතනය කළේ මම, එම නිසා මගේ යාළුවා වන උදලාගම වැරදි කරුවෙක් නොවෙයි. ඔහු නිදහස් කරන්න, මෙය බුද්ධි අංශයට ලබාදීමට කටයුතු කරන්න," සිය දිවි නසාගත් විශ්‍රාමික යුද හමුදා සාමාජිකයකුගේ සාක්කුවේ තිබූ ලිපියක සඳහන් විය. නමුත්, මෙය පරීක්ෂණ නොමග යැවීමට කළ උපක්‍රමයක් බව පොලීසිය සැක කළේය.

2016 දෙසැම්බර් 21 - ලසන්ත වික්‍රමතුංග හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඇති වූ සුහද කතාබහක් ඇතුළත් හඬ පටයක් අන්තර්ජාලයට එක් කර තිබිණි.

ඉන් දින කිහිපයකට පසුව ලසන්ත වික්‍රමතුංගගේ සටහන් පොත අතුරුදහන්වීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

2018 ජුලි 2 - හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රසන්න නානායක්කාරට හා ගල්කිස්‌ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි තිස්‌ස සුගතපාල ඇප මත නිදහස් විය.

2018 නොවැම්බර් 18 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව දින කීපයක් තුළ අදාළ ඝාතන පරීක්ෂණය මෙහෙය වූ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්ථාන මාරුවකට ලක්විය.

2018 නොවැම්බර් 20 - ආන්දෝලනයකට තුඩු දුන් නිශාන්ත සිල්වාගේ හදිසි මාරුව අවලංගු කෙරිණි.

2019 අප්‍රේල් - සිය පියා ඝාතනය කිරීමට "කුමන්ත්‍රණය කිරීම, සහය දීම සහ/හෝ අනුබල දීම" සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ නියෝගදීමේ වගකීමෙන් බැඳෙන බවට චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියාගේ දියණිය, අහිම්සා වික්‍රමතුංග, කැලිෆෝනියා අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනුකරනු ලැබීය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලද අවස්ථාවේ තමන් ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරියෙකුව සිටි බැවින් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන අධිකරණ විමර්ශනයකදී තමන්ට රාජ්‍ය නිලධාරියෙකුට හිමි විනිර්මුක්තිය හිමිවන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය වෙත දැනුන් දුන්නේය.

පසුව පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තමන් බව පවසා සිය නීතිවේදීන් මාර්ගයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් නඩු විභාගවලට පෙනී හිටීමෙන් වැලකී සිටින ලදි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීමෙන් අනතුරුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ නැවතුනා පමණක් නොව ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තනතුරු අහිමිවීම්, ස්ථාන මරුවීම් සහ විශ්‍රාම ගැන්වීම් සිදුවිය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැතුවූ ප්‍රධාන පොලිස් නිලධාරීයා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන නිශාන්ත ද සිල්වා මහතා ආරක්ෂාව පතා රටින් පලා ගියේය.

ඔහුව නැවත දැකගත හැකිවූයේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින්, එරට වේලාවෙන් 2023 සැප්තැම්බර් 5 වැනි දා රාත්‍රී 11.05ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් සැප්තැම්බර් 6 වැනිදා අලුයම 3.35ට පමණ නිකුත් කරනු ලැබූ "Sri Lanka bombings:were 269 people killed for political power? Dispatches exclusive" නම් වාර්තා වැඩසටහන ඔස්සේය. එහිදී අදහස් දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන නිශාන්ත ද සිල්වා මහතා පැවසූවේ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට 'ට්‍රිපෝලි ප්ලැටූන්' නැමති කණ්ඩායමේ සාමාජිකයන් ගනු ලැබූ දුරකතන 05ක් පිළිබඳ තමාට අනාවරණය කර ගැනීමට හැකි වූ බවය.

"ගෝඨාභය රාජපක්ෂට සෘජු අධීක්ෂණයක් තියෙනවා ට්‍රිපෝලී ප්ලැටූන් එක සම්බන්ධව. මම ගෝඨාභය රාජපක්ෂව ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වා.” නිශාන්ත ද සිල්වා පැවසීය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ තමා සහ පිල්ලෙයාන්ව රැස්වීමකට කැඳවූ බවත්, ඔහුට අවශ්‍ය වූයේ ලසන්තව ඝාතනය කිරීමට බවත් අසාද් මවුලානා චැනල් 4 නාලිකාව ඉදිරිපත් කල එම වැඩසටහනේදී පැවසීය.

"අපි ගෝඨාභය රාජපක්ෂ මුණගැහුණා ඔහුගේ කාමරයේදී. ඔහු ඉස්සරහා 'සන්ඩේ ලීඩර්' පත්තරේ තිබුණා. ඔහු කිව්වා, "මේ බල්ලා", සිංහලෙන් බල්ලා කියන්නේ Dogට.මේ බල්ලා නිතරම මාත් එක්ක සෙල්ලම් කරන්න හදනවා. ලසන්ත මරලා දාන්න ඕනි කියලා ඔහු කිව්වා. ඔයාලට පුළුවන් නම්, වහාම ඒක කරන්න. හැකි ඉක්මනින්ම." දැක්වූ බව පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයන් එකී කතා ප්‍රබන්ධ යැයි මාධ්‍යය නිවේදනයක් නිකුත් කර තිබුණි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් 2023 සැප්තැම්බර් 06 වෙනිදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ චැනල් 4 වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් සහ එහි නැගුන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයේ එකඟතාවයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට කටයුතු කරන බවයි.

ඒ කෙසේවුවද, ලසන්ත වික්‍රමතුංගට තවමත් යුක්තිය ඉටුවී නොමැත!!

අමතක නොකරමු කිසිදා - යුක්තිය ඉල්ලමු සැමදා!!

යුක්තිය සහ සත්‍යය සදහා වන සහයෝගීතා ව්‍යාපාරය (Solidarity Movement for Justice and Truth - SMJT)

ජයාරූපය අන්තර්ජලයෙනි.

Previous
Previous

අද ජනවාරි 16, ලංකාවේ කතෝලික දහම රැකදුන් ශා. ජුසේ වාස් මුනිදුන්ගේ මංගල්‍යය දිනය යි!!

Next
Next

කතෝලික සභාවේ ස්ථාවරය තවත් තහවුරුවෙයි,දේශබන්දු පොලිස්පති ධූරයට සුදුසු නෑ..ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඔහු වරදකරුවෙක් වෙයි!!