අද ජනවාරි 16, ලංකාවේ කතෝලික දහම රැකදුන් ශා. ජුසේ වාස් මුනිදුන්ගේ මංගල්‍යය දිනය යි!!

ශ්‍රී ලංකාව තුල කතෝලික දහම මුල් බැසගත්තේ පෘතුගීසි යුගයේ පැමිණි පෘතුගීසි මිෂනාරි පියතුමන්ලාගේ ධර්ම දූත සේවය නිසා බව අපි කවුරුත් දනිමු. එකී පෘතුගීසි පියතුමන්ලාගේ කැපවීම නිසාම යාපනයේ සිට රටේ දකුණු දිග කෙරවල දක්වාම කතෝලික දහම රට තුල ව්‍යාප්ත වන්නට විය. 1658 දී පෘතුගීසින් එලවා, නෙදර්ලන්ත, ලන්දේසීන්, ලංකාවේ පෘතුගීසි පාලන ප්‍රදේශවල බලය අල්ලාගන්නා විට රටතුල දේවස්ථාන 415 ක් සහ 70,000 කට අධික කතෝලිකයන් මේ සිරි ලක තුල විය (There were 415 Churches and Chapels and about 70 thousand Catholics in Ceylon when the Portuguese left the island)

ලංදේසීන් ලංකාවේ පෘතුගීසි පාලන ප්‍රදේශවල බලය අත්කර ගැනීමට පෙරම, එනම් 1638 මාර්තු 28 වෙනි දින, මුළු මහත් ලංකාවේම පාලකයා ලෙස දෙවන රාජසිංහ රජ පිලිගෙන, පෘතුගීසින් රටෙන් එලවා දැමීමට උපකාර කරන බව දක්වමින්, ලංදේසීන් මහනුවර දෙවන රාජසිංහ රජ සමග අත්සන් කල ලංදේසි - උඩරට ගිවිසුමේ (Dutch - Kandyan Treaty) 17 වෙනි වගන්තිය ප්‍රකාරව (Article XVII) කතෝලික පියතුමන්ලා ඇතුළු කතෝලික දහම මුලින් උපුටා දැමීමට ලංදේසීන් සපථ කර තිබුනි (“will not allow in his kingdom any priest, friar or ecclesiastic (Roman Catholic) personality, of the kingdom, and will expel all those living there at present.”)

ඉන් අනතුරුව ලංකාවේ කතෝලික ආගමට මෙන්ම කතෝලික ආගම ඇදහූවන්ට ද උදාවූයේ රුදුරු කාලයකි. ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට තුවක්කුව / රාජ්‍ය බලය / නීතිය / වරදාන පිරිනමමින් බලෙන් ආගමට හරවා ගැනීම් වාර්තා වෙන්නේ මේ වකවානුවේ දී ය. එයත් ලංදේසීන් විසින් කතෝලිකයින් බලෙන් කැල්වියන් ප්‍රෙතස්තන්ත්‍ර (Calvinism) ආගමට හරවා ගැනීම් ය. එය ද ලංකාවට පමණක් සිමා නොවූ ගෝලීය සංදර්භයකිනි. එනම් යුරෝපියානු තිස් අවුරුදු යුද්ධවලට (Thirty Years' War) සමකාලීනවය.

මේ යුගය තුලදී ලංදේසීන් කතෝලික පල්ලි රාශියක් ප්‍රෙතස්තන්ත්‍ර දේවස්ථාන බවට පරිවර්තනය කර ගත්හ නැතහොත් ගිනිතබා සහමුලින්ම විනාශ කලෝය. පන්දහසක රැස්වීමට හැකිවූ යේ යැයි කියන මිගමුවේ දේවමතා දේවස්ථානය (Madre De Deus /mother of God Church) එවැන්නකි. කොළඹින් පමණක් කතෝලික පියතුමන්ලා 50 දෙනෙකු අල්ලාගත් ලංදේසීන් ඔවුන් රටින් පිටුවහල් කලෝය. 1658 සැප්තැම්බර් 19 වෙනිදා විශේෂ නියෝගයක් පනවමින් කතෝලික පියතුමෙකුට හෝ කතෝලික ධර්ම ප්‍රචාරකයෙකුට රැකවරණය දෙන ඕනෑම අයෙකුට මරණ දඩුවම පණවන බව නිවේදනය කලේය.

ලංදේසින් දෙවන රාජසිංහ රජව මුලා කර, ගිවිසුම් ප්‍රකාරව ලංකාවේ පෘතුගීසි පාලන ප්‍රදේශ රජට ලබා නොදී, ඔවුන්ම පවරාගත් නිසා (ඉගුරු දී මිරිස් ගැනීම) ලංදේසීන් හා උරණවූ රාජසිංහ රජ ලංදේසීන්ගෙන් පීඩාවට පත් කතෝලික ජනයාට සිය පාලන ප්‍රදේශ (උඩරට, වහකොට්ටේ...) වල පැමිණ ජීවත්වීමට ඉඩ දුන්නේය. එහෙත් රට තුල පෘතුගීසි යුගයේදී ක්‍රියාත්මක වු කතෝලික සසුන ක්‍රමයෙන් බ්ද වැටීමටත්, දියවන්නටත් පටන් ගත්හ. Father Vergonse වැනි වියපත්වූ ජේසු නිකායික මහලු පියතුමෙක්ද, මැකාවු දේශයේ සිට ගමන් කරමින් සිටි Father John ( Father John of Jesus of the Augustinian Order) ද, කොළඹින් පලා විත් මහනුවර සිටි තවත් පියතුමන්ලා දොලොස් දෙනෙකු ගැනද වරින් වර වාර්තා වුවද ලංදේසී යුගයේ කතෝලික ආගමීක කටයුතුවල සක්‍රියවූ කතෝලික පියතුමන්ලා නැත්තටම නැති තත්වයක් උදාවිය.

1687 දී පුජා භාණ්ඩ සහිත පෙට්ටිය හිසමත තබාගෙන කුලිකරුවෙකු ලෙසින් වෙස් වලාගෙන ජුසේ වාස් පියතුමා ලංකාව පැමිණෙන්නේ මේ තත්වය තුලය.

එතුමා ගැනත් එතුමා ලංකාවේ සිදුකල සේවය ගැනත් biblesinhala.wordpress.com පලකල ශුද්ධවූ ජුසේ වාස් තුමා ( 1651 – 1711 ) ලිපිය පහලින් කියවිය හැක.

පහත කොටස https://biblesinhala.wordpress.com/.../%E0%B7%81%E0%B7.../ උපුටා ගැනීමකි.

=======================

ශුද්ධවූ ජුසේ වාස් තුමා ( 1651 – 1711 )

***********************************

ක්‍රිස්ටෝපර් වාස් සහ මරිය මිරැන්ඩා යන භක්තිමත් පවුල ගෝව රදගුරු වසමේ බෙනාලින් නගරයේ සැන්කොලේ නම් කුඩා ගමේ විසුවෝය. 1651 අප්‍රේල් 21 වන දින ඔවුන්ගේ පවුලට තුන්වන පුතෙකු බිහිවිය. ඔහුට ජෝශප් වාස් යන නම තැබුවේ ඔහුගේ ප්‍රසාද ස්නාපන දිනදීය. ඔහු කුඩා කල සිටම භක්තියෙන් යාච්ඤා කර එක් වරමක් ඉල්ලිය. එනම් ” අහෝ දෙවියනි , ඔබගේ ශුද්ධවූ කැමැත්ත නම් මා පුජාප්‍රසාදි කෙනෙකු කල මැනව” යනුයි. ඔහු සැන්කොලේ ප්‍රථමික පාසලේ ඉගැනීම අවස්ථාවේ පවා ඔහුගේ පිරිසිදුකම හා භක්තිය දුටු ඔහුගේ මිතුරෝ ” ඔන්න කුඩා ශුද්ධවන්තයා ” යි පැවසිය. දිළින්දන්ට ප්‍රේම කල ඔහු බොහෝ විට ඔහුගේ ආහාරය ඔහුන් සමග බෙදා ගත්තේය.

තම පුත්‍රයා පුජාප්‍රසාදිවරයෙකු වීමේ අදහස දැනගත් පියා සෑම අතින්ම ඔහුට වී ඔහු දිරිමත් කළේය. ඔහු බෙනාලීම් උසස් විද්‍යාලයට යැවිය. එහිදී ඔහු විසින් ලතින් භාෂාව හදාරන ලදී. ඉන්පසු ගෝව විශ්ව විද්‍යාලයට ඔහු ඇතුලත්විය. ඔහු ඉගැනීම අවසන් කලේ ජේසු පන්තියට අයත් සාන්ත පාවුළු විද්‍යාලයේය. ඉන්පසු පුජාප්‍රසාදීතුමෙකු වීමට සුදානමක් වශයෙන් ඔහු දැඩි තාපස ජිවිතයක් ගත කළේය.​

1676 දී ඔහු පුජකවරය ලැබිය. පුජකවරය ලැබූ ඔහු දෙවියන් වහන්සේට විශේෂ භාරයක් විය. එනම් ‘ මින්පසු මාගේ ධර්මදුත සේවය කරන්නේ හිස් පතුලෙන්ය’ යනුවෙනි. 1677දී ඔහු තමාවද තම තාපස ජිවිතයද දෙව්මවුට කැප කළේය. ඔහු දෙව්මව්ට සදාතන දාසයෙකු, වහලෙකු ලෙස කැප කර ගනිමින් එය ලියවිල්ලකින් ප්‍රකාශ කළේය. මේ කාලයේදී ඔහු විසින් පුජක ජිවිතයට පිරිමි ළමුන් පුහුණු කරන ලදී. මේ වන විට ජුසේ වාස් පියතුමාට ශ්‍රී ලංකාවේ කතෝලිකයනට විදින්නට සිදුවූ දුක්දායක තත්වය දැනගන්නට ලැබිණි. කතෝලික විරෝධි ඕලන්ද ජාතිකයෝ, පෘතුගීසින් පලවා හැර ලංකාව අල්ලා ගත්හ. කතෝලික ආගම රටින් සහමුලින් උපුටා දැමීමට නොයෙකුත් පීඩන පමුණුවා පුජාප්‍රසාදී වරුන් ද පන්නා දැමුහ.

ශ්‍රී ලංකාවේ වසර 30ක් තුල පුජාප්‍රසාදිවරුන් නොමැතිව ප්‍රසාද නිධාන නොලැබූ කතෝලිකයෝ තම විශ්වාසය නැති වන්නට ඉඩ නොදී එය රැක ගත්හ. ජුසේ වාස් පියතුමා ශ්‍රී ලංකා කතෝලික සභාවේ විශ්වාසය රැකදීමට කැප කිරීමට අධිෂ්ඨාන කරගෙන ශ්‍රී ලංකාවට යෑමට ශේෂ්ඨ පියතුමාගෙන් අවසර ඉල්ලිය.

1687 දී කුලිකරුවෙකු ලෙසින් වෙස් වලාගෙන, පුජා භාණ්ඩ සහිත පෙට්ටිය හිසමත තරුණ ජෝන් ආධාරකරුවෙකු ලෙස කැදවාගෙන ශ්‍රී ලංකාවට එන නැවකට නැග යාපනයට ගොඩ බැස්සේය. බොහෝ ප්‍රවේශමින් සන්නාසියෙකු මෙන් ගමන් කර, කතෝලිකයන් දැනගෙන විශ්වාසය ශක්තිමත් කළේය. නොමගට ගියවුන්ට ඉගැන්වූයේය. දේව ප්‍රසාද නිධාන දානය කරමින් දිව්‍ය පුජාව රහසින් සිදු කරමින් සියල්ලන් දිරිමත් කලේ රාත්‍රී කාලයේදීය. ඉන්පසු ප්‍රතිහාර්යමය ලෙස ඕලන්ද කාරයන්ගෙන් ගැලවී, තැනට සුදුසු අන්දමින් වෙස් වලාගනිමින්ද, උදාහරණ වශයෙන්, පැණි වෙළෙන්දෙක් ලෙසද, කත්කරුවෙක් හැටියටද රෙදි පොට්ටනි කාරයෙක් හැටියටද බොහෝ අන්තරාදායක මොහොතවල් වලින් මිදුනේය.

එතුමා රටමැද භාගයේ මහනුවරට ගිය විට , ඔත්තු සපයන්නෙකු ලෙස සැක කර සිර අඩස්සි කළේය. එතුමා වසර දෙකකට සිර දඩුවම් වින්දේය. ඉන්පසු මහනුවර කුඩා සාදා සේවය කිරීමට රජතුමාගෙන් විශේෂ අවසරයක් ලැබිණි. එකල ඉතා භයානක නියගයකට මුළු රටම ගොදුරු විය. එවිට රජතුමා අන්‍ය ආගමික නායකයින් ලවා යාතිකා යනාදිය කර වැස්ස ලබා ගැනීමට නොයෙකුත් පුජාවන් කල නමුත් වැසි නොලැබිණ. රජතුමා ජුසේවාස් නම් භක්තිවන්ත පුජකයා ගෙන්වා ‘ ඔබේ දෙවියන්ට යාච්ඤා කර , අපට වර්ෂාව ලබා දෙන්න’ යි කිවේය. එවිට එතුමා මාලිගාව අසල පිට්ටනියේ කුඩා අල්තාරයක් සාදා, ඒ මතුපිට කුරුස ප්‍රතිමාව තැබිය.ඉන්පසු එතුමා දණගසා දෙවියන් වහන්සේට තමන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන මෙන් අයැද සිටියේය. එම යාච්ඤාවට පිළිතුරක් වශයෙන් ඉතා තද වැසි වැස, මුළු රටම තෙමුන නමුත් ජුසේවාස් පියතුමා දණගසා සිටි ස්ථානය සහ එතුමා පමණක් ද නොතෙමි තිබිණි. රජතුමා සහ ජනතාව පුදුමයට පත් වුහ

ඉන්පසු එතුමාට නිදහසේ තම ආගමික කටයුතු කරගෙන යාමට අවසර දෙන ලදී. 1693 – 1697 දක්වා එතුමා නුවර, කොළඹ අතර වූ ප්‍රදේශයද, මිගමුව සහ උතුරුකරයද, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වාද මුළු ලංකා භුමිය තුල විශ්වාසයේ පහන දැල්විය. ඒ කාලයේ තවත් පියවරු දෙදෙනෙකු එතුමාගේ සහයට පැමිණියෝය. මේ අවස්ථාවේදී වසුරිය වසංගතය රට පුරා පැතිර ගියේය. ජුසේ වාස් පියතුමා ඇතුළු පියතුමන්ලා රෑ දවල් නොබලා ලෙඩුන්ට සාත්තු කලෝය. ඔහුන්ට කැද පිසිමද, නෑවිමද, තුවාල සෝදා පවිත්‍ර කිරීමේ කටයුතුද එතුමාගේ දෑතින්ම කළේය. රජ වාසල හැරපියා රජතුමා සහ රජ මාලිගාවේ වැසියෝ පලා ගියහ. එනමුත් අප පියතුමා රෝගීන් සමග විට ඔහුන්ගේ අවශතාවයන් සපුරාලිය. ඔවුන්ට ප්‍රසාද නිධාන දානය කළේය. එතුමා සිය කරපිටින් ගෙනගොස් මළවුන් වැළලිය.

වසංගතය සමථයකට පත්වූ පසු රජතුමා සහ මිනිසුන් එතුමා ගැන පැහැදී එතුමාගේ සේවය අගය කළහ. එතුමාට ආධාර දීම සදහා ඉන්දියාවෙන් තව පියවරු කීප දෙනෙක් කිහිප දෙනෙක් පැමිණියෙන්, එතුමාට ශ්‍රී ලංකාවේ ධර්ම දුත සේවය කිරීමට පහසු විය. එමනිසා ලංකාව මීසම් අටකට බෙදා එය සංවිධානය කළේය. එතුමාගේ සහයට පැමිණි ජාකොමේ ගොන්සාල්වෙස් පණ්ඩිත පියතුමාට ඉගැන්වීමට සහ වන්දනාවට පහසු වන ලෙස සිංහල සහ දෙමල භාෂා වලින් පොත් ලිවීමටද අණ කෙරිණි.

ජුසේ වාස් පියතුමා වෙහස දරමින් නොකඩවා සේවය කිරීම නිසා දිනක් පුජාව වෙලාවේදී සිහිනැතිව වැටුනේය. උන්වහන්සේව මහනුවරට යැවූ පසු නැවත සුවය ලැබිණි. තව දිනක් ඉතා දුරබැහැර මරණාසන්න රෝගියෙකු බැලීමට යද්දී කරත්තයෙන් වැටි අඩපණ වූ හෙයින්, එතුමාට විශේෂ වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්දියාවෙන් ගෙනවිත් සුවය ලබා දීමට මහා රජතුමාගේ අවසරය ලැබිණි. මෙම රෝගයෙන්ද එතුමා සුවය ලැබිය.

එතුමාගේ ඇති බැහැපත් කීකරු කමින් එතුමා අනුනායක කටයුතු ඉටු කල නමුත් , පලදනාවල් ප්‍රතික්ෂේප කළේය. එතුමාට තවත් වරක් කනේ රෝගයක් සෑදී අංශභාග රෝගය මෙන් අසාද්‍ය විය. එතුමාට දිව්‍ය පුජාව පවා සිදුකිරීමට නොහැකි විය. ඔහු මරණාසන්නව සිටියදී පවා ගරු අල්මේදා සහ ගොන්සාල්වෙස් පියතුමන්ලාගේ සහය ඇතිව දේවස්ථානයට ගොස් ‘” තෙදේවුම් ” නම් ස්තුති සංගීතයද, ජපමාලයද නියමිත යාච්ඤාවල්ද කියා ලෙඩුන්ගේ ආලේපය දානය කිරීමට ඉල්ලා සිටියේය. එතුමා දෙවියන් වහන්සේට කතා කරමින් අන්තිම මොහොත ගත කළේය. ගොන්සාල්වෙස් පියතුමා අන්තිම වචනයක් ඔහුනට පැවසීමට ඉල්ලිය. එවිට එතුමා සිංහලෙන් කතා කර මෙසේ කිවේය. ” කිසිවෙකු තම ජීවිත කාලයේදී නොකළ දේ තම මරණ මොහොතේදී කල නොහැක ” ඉන්පසු එතුමා දැල්වූ ඉටිපන්දමක් ඉල්ලාගෙන ශු. සභාව කෙරෙහි එතුමාගේ විශ්වාසය ප්‍රකාශ කළේය. ශුද්ධෝත්තම පියතුමාගේ නියෝජිතයා විසින් එතුමාට එවන ලද කුරුස ප්‍රතිමාව රැගෙන ඒ දෙස බලා ” ජේසු ” යන ශ්‍රී නාමය උච්චාරණය කර දෑස් මොක්පුර දෙස ඔසවා පියාණන්ගේ හස්තවලට තම ආත්මය භාර දුන්නේය. එතුමාගේ මරණය සිදුවුයේ 1711 ජනවාරි මස 16 වන සිකුරාදා දින මධ්‍යම රාත්‍රියේදිය. දැන් එතුමා ශ්‍රී ලංකාවේ අපෝස්තුළුවරයා යන නාමය දරයි.

මෙතුමාව 1995 ජනවාරි 21 දින 11 වන ජුවාම් පාවුළු පාප්තුමන් විසින් භාග්‍යවරයට ඔසවන ලදී. මෙතුමාගේ මංගල්‍යය ජනවාරි 16 වන දින සැමරුණු ලබයි. පසුව 2015 වසරේදී මෙතුමාව ශුද්ධවරයට ඔසවන ලදී.

Previous
Previous

ගරු තිස්ස බාලසූරිය පියතුමා

Next
Next

ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කලේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් ද?