රටට හොඳ ආණ්ඩුවක් හදන   ජනාධ්පති වරයෙකු ඕනෑ!

ජනාධිපතිවරණයට ඇත්තේ තව දින විස්සකි.

ඉන් තමන් දිනුවොත් වහා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවන බව , මාලිමාවේ අ.කු. දිසානායක හා සජබයේ ස.ප්‍රේමදාස හිතවතුන් මේ වන විට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. රනිල් දිනුවොත් වහා එ සේ නො කරනු ඇත. ඔහුට රාජපක්ෂ කණ්ඩායමෙන් ලද සහයට කෘතෝපකාර සලසන්නට සිදුවන හෙයිනි. නාමල් රාජපක්ෂ ද, ජයගත හොත් නව පාර්ලිමේන්තුවක් ස්ථාපිත කර ගනු ඇත. ඔහු ගේ නව මිතුරනට ස්ථාන ලබා දෙන්නටය. රනිල් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූදාට ඔහු ගේ රාජපක්ෂ මිතුරනට වැලේ වැල් නැතිව යනු ඇත. සිය එජාප සගයනට තැන් දීමට රනිල්ට සිදුවන බැවිනි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ පාලනයට පාර්ලිමේන්තුවක් ද අනිවාර්යයෙන් ම අවශ්‍යය. රටට අවශ්‍ය නීති සම්පාදනයටය.

රට බරපතල විෂමතාවන්ට ගොදුරුව පුපුරා ගොස් තිබේ. බැළු බැල්මට, වෙළෙඳ පොළ ද්‍රව්‍යමය දෙයින් පිරී තිබුනත්, රටේ ජනගහනයෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ, දිනකට එක ආහාර වේලකින් හෝ දෙකකින් බව මහ බැංකු වාර්තා පවසයි.

රට පරිගණක තාක්ෂණයෙන් ඉහළට ගොස් ඇති බව පෙනෙතත්, රටේ ජනගහනයෙන් විශාල පිරිසක් හරිහමන් රැකියාවක් නැතිව ළතැවි ළතැවී සිටී.

ජිවත්වීමේ නිදහස රටේ ඇති බව දැනෙතත්, වැඩි ජන කොටස ජීවත් වන්නේ අනාරක්ෂිත හා  අවිනිශ්චිත වාතාවරණයකය. ඇස පිනවන දර්ශන රට පුරා

නගරවල ඇති බව පෙනෙතත්,  සමාජය පුරා නීතිරීති කැඩීම්, දූෂණ හා අපරාධ බහුලය. යළි ඕනෑම මොහොතක,  ජන නොසන්සුන්කම් හටගන්නා පරිසරයක් රටේ සමාජය යට දුම් දමමින් තිබේ.

අළුත්ම අපකීර්තිමත් උවදුරක් ඒ අතරට පැමිණ තිබේ. ජනාධිපති හා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව අධිකරණය ලුහු කොට සැලකීමය. ඒ ඉදිරියේ පොලීසිය පවා අසරණව.....ඔහේ ඕනෑ දෙයක් සිදුවන්නට ඉඩ හැර සිටින බවක්  අපට හැඟේ. එහෙත් ඒ සියල්ල මැද, අධිකරණය  කෙළින් ක්‍රියා කරනු රට්ටු ප්‍රීතියෙන් තේරුම් ගනිමින් සිටී.

රටේ වැඩි දෙනෙකුට අවශ්‍ය  සාමයෙන් හා සුරක්ෂිතව ජීවත්වීමටය. ඒ සඳහා ඉදිරි ජනාධ්පතිවරණයෙන් තමන් තෝරා පත් කර ගත යුත්තේ කවුරුන්දැයි රට මේ වන විට බරපතලව සිතමින් සිටියි. මෙතෙක් තමන් බලය පැවරූ කිසිම ජනාධිපති වරයෙක් හෝ ආණ්ඩුවක් රට සාමකාමී හා සුරක්ෂිත නො කළ බව ඔව්හූ මනාව දනිති. ඒ නිසා මෙ වර ප්‍රවේශම්කාරීව  තම වගකීම ඉටු කරන අන්දම ගැන රට්ටුන් සිටින්නේ දැඩි වික්ෂිප්තයකිනි.

 

සාමාන්‍ය රටවැසියන් පෙර පුරුද්දට ජනාධිපති ඡන්දය පාවිච්චි කරනු ඇත. ඔවුන් ගේ සංඛ්‍යාව ජනගහනයෙන් 60% පමණ වෙනු ඇත. රටේ නූගත්ම ජන කොටස සිටින්නේ ඒ කොටසේය. යම් තරමක හා විශේෂ දැනුවත්කම් සහිත 40% පමණ ජනකොටස සිටින්නේ කිසියම් තීරණාත්මක කුතුහලයකිනි. පසුගිය වාර කීපයේම තමන් පත් කරගත් එක ද ජනාධිපති කෙනෙකු යටතේවත් රටට හොඳ ආණ්ඩුවක් බිහි නොවූ බව ඔවුන් දන්නා හෙයිනි. රට ට හොඳ ජනාධ්පති වරයෙකු සමග හොඳ ආණ්ඩුවක් ද ඕනෑ කර තිබේ.

තමන්ව බලයට පත් කළහොත්, රට සශ්‍රීක කර, රටේ සාමය සුරකින බවට මේ දිනවල සිත් අලවන පොරොන්දු වදාරන දේශපාලන කථා පවත්වන්නන්, ඉතාම වැඩිදෙන, මෙතෙක් තම ආණ්ඩු හරහා රට කාබාසීනියා කළ හා, කරන්නට අත හිත දුන් අයමය. රට පරිහානියෙන් හා අසමගියෙන් බේරා නො ගත් ඔව්හූ, ඉදිරි සැප්තැම්බර් 22 දා සිට තමන් රට පරිහානියෙන් හා අසමගියෙන් මුදා ගන්නා බවට කෑමොර දෙති!

මෙතෙක් මෙ රට පැවති කිසිම ආණ්ඩුවක් රට අසමගියෙන් මුදවා ගන්නවා තබා, රටේ දුප්පත්කම හා නූගත්කම දුරුකිරීමටවත් සමත්ව නැත. දුප්පත්කම හා නූගත්කම පිරී ඉතිරී යන රටකට, සාමය හා සශ්‍රීකත්වය ගෙන ඒමට කොයිම ආණ්ඩුවකටවත් හැකිකමක් නැත.

මෙතෙක් මෙ රට හැම ආණ්ඩුවක්ම බිහි වූයේ, ආත්මාර්ථකාමී, ජාතිවාදී හා ආගම්වාදී දේශපාලන පක්ෂ වල සන්ධාන හරහාය. ඒ එක ආණ්ඩුවක්වත්  රටේ වෙසෙන ජනයාගේ අභිලාෂ සපුරන්නට සමත් වී නැත. මතුපිටින් කෙසේ වෙතත්, හැම සන්ධාන ආණ්ඩුවකම පක්ෂ අභ්‍යන්තරයේ බරපතල මතභේද විය.

1971 ජ.වි.පෙ අරගලයේදීත්, තිස් අවුරුදු උතුරු අරගලයේදීත්, 2019 පාස්කු අපරාධයේදීත් , මෙ රට දේශපාලන පක්ෂ එක්ව ක්‍රියා කළේ නැත. පැවති ආණ්ඩුව විසඳා ගත්තාවේයි ඉවත බලාගෙන සිටියේය.

අර්බුද, විසින් බලයේ සිටින ආණ්ඩුව පරාජය කරවද්දී, විපක්ෂ දේශපාලකයන් සිනහ වෙමින් බලා සිටියේය. ඊළඟ ආණ්ඩු වාරය තමන්ට යැයි සුභ සිහින දකිමින් සිටියේය. ඒ අතර පවතින ආණ්ඩුවට එරෙහිව රට කැළඹෙව්වේය.

ඒ දේශපාලන සටකපටකම් හා අයුතුකම් වල ඉතිහාසය සමරමින්, මේ මස විසි එක් වෙනිදා රටට සුදුසුම ජනාධිපති වරයා පත් කර ගන්නට ශ්‍රී ලාංකිකයන්  හරි තීන්දුව ගත යුත්තේ, ඒ සමග රටට ' හොඳ ආණ්ඩුවක් ' පත් කර ගැනීමේත් ඉදිරි අභිලාෂය සිහි තබා ගෙනය.

සිය පරමාධිපත්‍ය, දුබල ආණ්ඩුවකට නො පැවරෙන හරි තීන්දුවක්, ඉදිරි විසි එක් වෙනිදා අපේ රට්ටුන් විසින් ගත යුතුව තිබේ.

පක්ෂ රැසක් එක්ව පිහිටුවන ලද ආණ්ඩු මේ රටේ හොඳ ආණ්ඩු වී නැත.

     1956......?

     1972......?

     ඒ ආණ්ඩු විසින් ගත් අදූරදර්ශී තීන්දු...?

     ආගම් හා භාෂා පිළිබඳව....?

     ඉන්දියාවට බියෙන්....?

1931 ඩොනමෝර් යෝජනා ක්‍රියාත්මක කරන්නට සැකසූ ආණ්ඩුවේ සිට, රනිල් වික්‍රමසිංහ අද පවත්වා ගෙන යන හිතුවක්කාර ආණ්ඩුව දක්වා, එක ආණ්ඩුවකවත් හොඳ ආණ්ඩු ක්‍රම ලක්ෂණ තිබුනේ ද? එහෙත් එදා සිට ම මෙ රට ජනතා සිත් සතන්වල, රටට අවශ්‍ය හොඳ ආණ්ඩුවක ' ප්‍රාර්ථනා ' තිබුනා නිසැකය.

තමන් ඡන්දය දී පත්කර ගන්නා ආණ්ඩු 'කාර්යක්ෂම හා අවංක මිනිසුන් ගේ ආණ්ඩු' වෙතැයි ඔවුන් ප්‍රාර්ථනා කරන්නට ඇත. ඒ අවංක මිනිස්සු, ' පරිපාලන ශූරයන්'  වෙතැයි ඔවුන් ප්‍රාර්ථනා කරන්නට ඇත. රටේ ප්‍රශ්න වලට මූලික හේතු ඉවත් කරන්නට, ඔවුන් ' සමතුන්' වෙතැයි ජනතාව ප්‍රාර්ථනා කරන්නට ඇත. ඔවුන් එක් කණ්ඩායමක් ලෙස තදින් බැඳී ක්‍රියා කරතැයි ඔවුන් අපේක්ෂා කළා නිසැකය.

ඕනෑම රටක ප්‍රශ්නයක් විසඳන්නට නම්, ඒ ප්‍රශ්න වලට කාරණා වූ ප්‍රධාන හේතු ඉවත් කර දැමිය යුතුය යන, රාජ්‍ය පරිපාලන විසඳුම ලොවට ලැබී ඇත්තේ බෞද්ධ දර්ශනයෙනි. බුද්ධාගම මෙ රට රාජ්‍ය ආගමය. රටේ ජනගහනයෙන් අධිකම ආගමික පිරිස බෞද්ධය.

බ්‍රිතාන්‍ය සමයේ සිට මේ මොහොත දක්වා මේ රටේ රාජ්‍ය නායකයා වූයේ බෞද්ධාගමිකයෙකි. ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ ඉතා වැඩි සාමාජික පිරිස ද බෞද්ධ වූහ.

එහෙත්, රටේ වැඩෙන දුප්පත්කම හා නූගත්කමට හේතු සොයා, ඒ හේතු මර්දනය කරන්නට ඔවුන් කිසිවෙකු සමත්ව නැත. වැඩෙන රැකියා හිඟයට - ගැමි ජනතාවගේ ජීවිත එන්ට එන්ටම පහළ යාමට හා ජීවන වියදම ඉහළ යාමට - ආර්ථිකයේ සරු තැන් රටේ වරප්‍රසාද හිමි සුළු පිරිසටම හිමිවීමට - ලෝකය හා ගනුදෙනු කිරීමේ දී රටට සිදුවන අවාසි දුරු කර ගැනීමට - අධ්‍යාපන ඵල රටේ ඈත ගම්මාන කරා නො යාමට - දේශීය නිෂ්පාදන වර්ධනයට පියවර ගන්නා තරුණ පරපුරක් බිහි නොවීමට - වාර්ෂීක අයවැය හිඟය වේගයෙන් ඉහළ යාමට - විදේශ ණය එන්ට එන්ටම වැඩිවීමට - රට සෞඛ්‍ය සම්පන්න නො වීමට - හේතු සොයා වැළැක්වීමට ඒ එක ආණ්ඩුවක්වත් සමත්ව නැත.

රටවැසියන් භේදවලින් තොර සමගි සම්පන්න 'සහෝදර' පිරිසක් කිරීමට ඒ එකම ආණ්ඩුවක්වත්, රාජ්‍ය පාලකයාවත් සමත්ව නැත. සැප්. 21 දා ශ්‍රී ලංකිකයන් තෝරා ගත යුත්තේ, එ බඳු අසමත් රාජ්‍ය පාලකයෙකුම ද? 

තම තමන් වෙනස් දේශපාලන අදහස් දැරුව ද, රටේ අනෙකුත් දේශපාලකයන්ටත් ගෞරව දක්වන, දේශපාලන පක්ෂයක ආණ්ඩුවක් මෙ රටට වුවමනා කර තිබේ. පාලකයන් එ බඳු දයාවන්ත පිරිසක් වූ විට රට වැසියන් ද එකිනෙකාට දයාවෙන් යුත් සහෝදරයන් වෙනු ඇත. සහෝදරයන් අතර, ඇන කොටා ගැනීම් හා යුද්ධ නැත. යුද වියදම් නැති රටක රාජ්‍ය ආදායම වැසියන් අතට ගලා යනු ඇත. එවිට රටේ දුප්පත්කම දුරුවෙනු ඇත. දුප්පත්කම නැති රටක ග්‍රාමීය දරුවන් අඩු වයසෙන් හා මද දැනුමෙන් පාසල් වලින් හැලීම නතර වෙනු ඇත.  රටේ දුප්පත්කම හා නූගත්කම දුරුවූ දා රට 'පාරාදීසයක' ලකුණු පෙන්වීම අරඹනු ඇත.

පාරාදීසයක වෙසෙන්නේ ධර්මිෂ්ඨ මිනිසුන්ය. ඔවුනතර පළිගැනීම් නැත. සමාදානය ඇත. කලකිරීම් හා නපුර නැත.  රට වැසියන් සිටින්නේ අසනීප , ලෙඩදුක් හා වැළපීම් නැති, සතුටුදායක පරිසර වලය. හැම තැනම සිටින්නේ බෙදා හදා ගන්නා මිනිසුන්ය. හොරු හා මැරයන් නැත. සැළකිලි හා ගෞරවය ලැබෙන්නේ යහපත්, අවංක මිනිසුන්ටය

 එ බඳු පාරාදීසමය රටක පාලනයට ඉදිරිපත් වන්නේ උගත්  මිනිසුන්ය. එ විට සේවය නො ලබා සේවය කරන මිනිසුනට ඒ රටවල පාලනය පැවරෙනු ඇත. ඒ පාලකයන් අතර අදක්ෂයන් හා දූෂිතයන් නො සිටිනු ඇත. ඔවුන් පාලන සහකාරයන් ලෙස තෝරා ගනු ලබන්නේ, අවංක සත්‍යවාදී මිනිසුන්ය.

 ඒ යහපත් දේශපාලකයන් රටේ පාලකයන් ලෙස නොව සේවකයන් ලෙස ක්‍රියා කරනු ඇත. සිය රටවැසියන් ගේ ජීවිත දුකෙන් මුදවා ගැනීමට ඔවුන් කාර්යක්ෂමව ක්‍රියා කරනු නිසැකය. ඔවුන් හොඳ පවුල් ජීවිත ගත කරන්නන්ද, අන් සතු දෑ සොරකම් නො කරන්නන් ද වෙනු ඇත. ඔවුන් උගතුන් නිසා, කතා කිරීමට පෙර සිතන්නන් වෙනු ඇත.

මෙතෙක් රට පාලනය කළ ඇත්තන්ගේ කල්කිරියාව නිසා හොඳටම භෙම්බත්ව හා උකටලී ව සිටින වර්තමාන ශ්‍රී ලාංකීක බහුතර වැසියන්, ප්‍රාර්ථනා  කරන්නේ  රට එබඳු තත්ත්වයකට ගෙන ආ හැකි ජනාධිපති වරයෙක් බව අපේ කල්පනාවය. අනතුරුව තමන්ට නොව, රටට හොඳ ආණ්ඩුවක් ඔවුන් ගේ දෙවන ප්‍රාර්ථනය ය.

ජනාධිපති වරණය ජයගත් පසු තමන් හදන ආණ්ඩුවේ හැඩය ගැන මාලිමාව පමණක් රටට යම් ඉඟියක් දී තිබේ. ඇමති මණ්ඩලය  විසිපහකි. රාජ්‍ය ඇමතිවරු නැත. උප ඇමතිවරු ද විසි පහකි. ඔවුනට වාහන සපයන බව පැවසෙන්නේ ඉතා සීමිතවය. මැති ඇමති විශ්‍රාම වැටුප අත් හිටැවේ. ජනාධිපති විශ්‍රාම වැටුප් ක්‍රමය ද අහෝසි කෙරෙන බව පැවසේ.

අමාත්‍ය මණ්ඩලය ගැන පවසද්දී ඔවුන් මෙ සේ පවසයි. " අපේ ඇමති මණ්ඩලයේ රෝහිත අබේගුණවර්ධන බඳු වරාය ඇමතිලා නැත "

ඇමති මණ්ඩලය සැකසෙන්නේ, පැවරෙන විෂය පිළිබඳ ප්‍රාමාණික උගතුන් ගෙන් ම බව ද පැවසේ. ඒවා නම් හොඳ ආණ්ඩුවක ලකුණුය!

   ---   සිරිල් එඬේරමුල්ල.  ---

Previous
Previous

2024 ජනාධිපති මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනතාව වෙත කරන ඉල්ලීමයි

Next
Next

කතෝලික  සභා නායකත්වයට ගිහියන් මෝරා නැතිද....