'මරියතුමියගේ නිර්දෝෂ පිලිසිදීම' (Immaculate Conception of Mary) හෙවත් මරියතුමිය ශු.ආනා මුනිතුමියගේ කුසෙහි නිර්මල පිලිසිදගැනීම.

ඉතාලිය ඇතුළු බෝහෝ කිතුනු රටවල් ජාතික නිවාඩු දිනයක් ලෙස සලකන අද දින (08/12) ලොවපුරාම කිතුනුවන් ණය මංගල්‍යය දිනයක් (a holy day of obligation) දිනයක් වශයෙන් සමරන 'මරියතුමියගේ නිර්මල පිලිසිදීමේ' මංගල්‍යය හෙවත් 'Feast of the Immaculate Conception' යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සම්බන්ධව ලාංකික කිතුනුවන් තුල නිවැරදි අදහසක් නැත්තා සේය. බොහෝ දෙනෙක් එය ජේසු මරියතුමියගේ කුසෙහි පිලිසිද ගැනීම ලෙසද, ඇතමුන් මරියතුමියගේ උපන් දිනය හෝ මරිය තුමියගේ අහස් නැගීම යැයි ද සිතති.

ගාබ්‍රියල් දේවදූතයා මරිය තුමියට මංගලම් කීම (Feast of the Annunciation) හෙවත් ජේසුතුමා මරියතුමිය තුල පිලිසිදගැනීම කතෝලික සභාව සමරන්නේ මාර්තු 25 වන දිනය. ජේසු උපත සමරන නත්තල එලබෙන්නේ ඉන් මාස 09යකට පසු දෙසැම්බර් 25ය.

මරියතුමිය අහස් නැගිම හෙවත් මරියතුමිය ස්වර්ගයට වැඩීමේ මංගල්‍යය (The Assumption of Mary) කතෝලික සභාව සමරන්නේ අගෝස්තු 15 දිනය.

මරියතුමියගේ උපන් දිනය (The Nativity of the Blessed Virgin Mary) කතෝලික සභාව සමරන්නේ සැප්තැම්බර් 08 වනදාය.

අදින් මාස 09යට පසු එලබෙන සැප්තැම්බර් 08දා මරියතුමියගේ උපන් දිනය සමරයි.

ඒ අනුව, අද, දෙසැම්බර් 08, සමරන්නේ මරියතුමිය ශා. ආනා මුනිතුමියගේ කුසෙහි ජම්ම දෝෂයෙන් නිර්දෝෂව පිලිසිදගැනීමේ මංගල්‍යය (Immaculate Conception of Mary) යි.

Immaculate Conception of Mary නමින් රටේ බොහෝ දේවස්ථාන පැවතියද, එහි හරය සහ ගැබුර ගැන දැනුම ඇත්තේ කීයෙන් කීදෙනාටද?

අපි පුරුද්දට කතෝලියින් නොවී දැනුවත් කතෝලිකයින් වෙමු!!

පහතින් පල කරනුයේ ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා, 01/05/2020 දින, මරියතුමියගේ නිර්දෝෂ පිලිසිද ගැනීම ගැන තැබූ සටහනකි.

මරියතුමියගේ නිර්දෝෂ පිලිසිද ගැනීම (Immaculate Conception of Mary)

දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. දේව මාතාවන් ශු.ආනා මුනිතුමියගේ කුසෙහි පිලිසදගත් විටදී කිසිම පාපයක් නොමැතිව පිලිසිදගත් බව මේ තුල ප්‍රකාශ වේ.

මෙය ශු.කතෝලික සභාවේ දේව මාතාවන් පිලිබදව ඉගැන්වෙන විශ්වාසයේ දේව ධාර්මික ප්‍රකාශ සතර (Dogmatic Proclamations) අතරින් එක් ප්‍රකාශයකි.

වර්ෂ 1854 දී IX වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් Ineffabilis Deus නැමැති විශ්වාසයේ ප්‍රකාශනය තුල මරිය මාතාවෝ ජන්ම පාපයෙන් නිදොස්වී මව් කුසෙහි පිලිසිදගත් බව ප්‍රකාශ කරන ලදී. එවක් පටන් ඕතුමියගේ මෙම මංගල්‍යය දෙසැම්බර් 08 වන දින කතෝලික සභාවේ සමරන්නීය. වර්ෂ 1830 දී ප්‍රංශයේ ශු. කැතරින් ලැබොරේ( Catherine Laboure) මුනිවරිය විසින් දුටු, ලෝක ගෝලය මත දෑත විහිදාගෙන සිටින මරිය මාතාවන්ගේ දර්ශණය පුදුම පදක්කම නිර්මාණය වීමට හේතු පාදක විය.

අප බොහෝ දෙනෙක් පැළදගෙන සිටින එම පුදුම පදක්කමේ ඇති බලය ගැන අපි දනිමු. එලෙසම මෙම නිර්දෝෂ පිලිසිදීමේ මාතාවන්ගේ ප්‍රතිමා වල අනෙක් විශේෂ කාරණය වන්නේ දේව මාතාවන්ගේ පයට පෑගුණු සර්පයාය. සර්පයා පාපයේ සංකේතයයි.පාපය නැසුවේ මරියාවන්ගේ කුසින් බිහිවූ ගැලවුම්කරුවාණෝ යි. (උත්පත්ති 3:15) හි මෙය සදහන් වේ. එබැවින් නිර්දෝෂ පිලිසිදීමේ මාතාවන්ගේ ප්‍රතිමාව තුල ගැබ්ව ඇති පණිවුඩය නම් ලෝකය ගලවා ගැනීම සදහා මුලික වශයෙන්ම දේව මාතාවන්ද විශේෂ කාර්යයක් ඉටු කල බව සහ ඒ සදහා දෙවියන් වහන්සේ ඇයව මව් කුසයේ බිහිවන්නටත් ප්‍රථම තෝරා ගත් බවය. නිර්දෝෂ දේව මාතාවන් අද දිනදී අපව කැදවන්නේ තවමත් ලෝකය තුල ඇති අදුර,පාපය දුරුකරනු සදහා දෙවිදුන්ගේ සේවක සේවිකාවන් වන්නටය.

'නිර්දෝෂ දේව මාතවෙනි අප නිසා යාච්ඤා කළ මැනව".

ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා.(01/05/2020)

Previous
Previous

කතෝලික සභාවේ ස්ථාවරය තවත් තහවුරුවෙයි,දේශබන්දු පොලිස්පති ධූරයට සුදුසු නෑ..ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් ඔහු වරදකරුවෙක් වෙයි!!

Next
Next

මම මෙය පසුපස ගියේ නෑ, ඔබ බිෂොප්වරයෙකු වීම දකින්නේ බාහිරින්, එහෙත් එය අතිමත් භාරදූර වගකීමක්