පාස්කු ඉරිදා ප්‍රහාරයේ යුක්තියේ සටන , ඉතාලි රදගුරු සමුළුවේ විශේෂ අවධානයට

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ගෙනයන සටන වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් , පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය උදෙසා ඉතාලි - ශ්‍රී ලංකා සංසදයේ සාමාජිකයින් ( italiano - Sri Lankesi, forum di giustizia per le vittime dell'attentato della domenica di Pasqua) හා ඉතාලි රදගුරු සමුළුවේ සභාපති අති උතුම් කාදිනල් මතියෝ සුප්පි (Cad.Matteo Zuppi) හිමිපාණන් අතර ඊයේ (පෙබරවාරි 03) පස්වරුවේ පවත්වා ඇත.

එහිදී ඔවුන් විසින් , අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අප රට තුළ සහ ජාත්‍යන්තරවත් ගෙනයනු ලබන යුක්තියේ සටන වෙනුවෙන් උන්වහන්සේගේ සහයෝගය ඉල්ලා ඇති අතර , මේ දක්වා ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ විසින් , පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය හා විමර්ශන වල තත්වය ඇතුළත් ඉතාලි සහ ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද ලේඛන කිහිපයක් සහ වීඩියෝ පටයක් ද උන්වහන්සේ වෙත ඉදිරිපත් කර ඇත.

අති උතුම් කාදිනල් සුප්පි සැලකෙන්නේ , ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ඉතාමත් කිට්ටු සමීපතමයෙකු ලෙසයි.

මෙහිදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු ශ්‍රී ලාංකීය කිතුනු සභාව , ගෙනයනු ලබන යුක්තියේ සටන සම්බන්ධයෙන් උන්වහන්සේගේ ඉමහත් ප්‍රශංසාව හිමිව තිබේ.

මේ වෙනුවෙන් ශ්‍රී ලංකා රදගුරු සමුළුවට අවශ්‍ය සහයෝගය සම්බන්ධයෙන් දැනටමත් උන්වහන්සේ ලා ක්‍රියාකරගෙන යන බවත් ,

ශුද්ධෝත්තම පාප්තුමන් ද ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත්, ශ්‍රී ලංකා රජය තව දුරටත් යුක්තිය හා සාධාරණත්වය ලබාදීමට අපොහොසත් වන්නේ නම්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ එකඟතාවයෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හා ඉතාලි රජය සමගත් විශේෂාකාරයෙන් මැදිහත් වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, කිසිවිටෙකත් ලාංකීය කිතුනු ජනතාව තනිනොකරන බවටත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් හා ඉතා ඕනෑකමින් සම්බන්ධ වීමට තමන් කැමැත්තෙන් පසුවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

Previous
Previous

වික්ෂෝප දේවමාතා දිනය, සිවිල් නුවර පාස්කු සතිය සහ මීගමු දූවේ දානය

Next
Next

Easter Sunday attacks a result of political extremism, not religious extremism - Cardinal